අප ගැන

අප 2015 සැප්තැම්බර් 23 වන දින මූලික සාකච්ඡාවලින් පටන්ගෙන 2015 නොවැම්බර් 01 වන දින ආරම්භක සමුළුවක් පවත්වා අඛණ්ඩව දේශපාලන කටයුතු සිදු කරමින් සිටින්නෙමු..

පරපුරක බලය ගොඩනැගෙන්නේ දැනට පවතින කිසිඳු ප්‍රධාන දේශපාලන පක්ෂයකට මේ රට ගොඩනගන්නට නොහැකිය යන සංකල්පය මතය.

1948 දේශපාලන කඳවුර

1948 දේශපාලන කඳවුර අප විසින් හදුන්වන්නේ 1948 සිට අප මාතෘ භූමිය පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වේ. මෙරට තුළ දේශපාලන කඳවුරු දෙකක් නැති බවත් ඇත්තේ එකම දේශපාලන කඳවුරක් බවත් ඒ කඳවුරට විවිධ වෙස් ගත් පෙරමුණු ගණනාවක් ඇති බවත් මාරුවෙන් මාරුවට එම පෙරමුණු විසින් පාලනය ගෙන ගිය බවත් අපගේ දැක්මයි. මතුපිටින් පරස්පරතා, විසංවාද සහ ගැටීම් තිබුණත් එම පෙරමුණු සියල්ලම විටින් විට උනුන් ආරක්ෂා කරමින් තම කඳවුර රැක ගැනීමට ක්‍රියා කරන්නෝය. එමෙන්ම තවත් කඳවුරක් ගොඩනැගීම වළක්වන්නෝය.

දේශප්‍රේමී කඳවුරක්

1948 මජර දේශපාලන කඳවුර වෙනුවට දේශප්‍රේමී දේශපාලන කඳවුරක් ගොඩැගීම සඳහා පරපුරක බලය බිහි කරන ලදී. 1948 මජර කඳවුර මගින් දිගින් දිගටම නිර්මාණය කළ දේශද්‍රෝහී, පරගැති සහ මජර දේශපාලකයන් වෙනුවට දේශප්‍රේමි, නිවහල් හා මානවාදී උගත් බුද්ධිමත් නායකයන් සොයා යමින්, එකතු කර ගනිමින් සහ ගොඩනගමින් දේශප්‍රේමී කඳවුර ශක්තිමත් කිරීමට අප කටයුතු කරන්නෙමු.

එමගින් 1815 සිට අපට අහිමි කළ නිඳහස යළි දිනා ගැනීමත් ආර්ථික, සාමාජිය හා සංස්කෘතික වශයෙන් අප මාතෘ භූමිය ජයග්‍රහණය සඳහා ගෙන යාමටත් අප බලාපොරොත්තු වන්නෙමු.

ව්‍යාජ නිහස

1948 පෙබරවාරී 04 වන දින අපට ලැබුණා යැයි පවසන නිදහස සම්පූර්ණයෙන්ම ව්‍යාජයකි. එම ලැබුණ නාමික නිදහස උත්සවශ්‍රීයෙන් සැමරීම අප ප්‍රතික්ෂේප කරන්නෙමු. ව්‍ය්වස්ථාමය නිදහසක් අප ලබාගත්තේ 1972 දී වන අතර එයද පසුකාලීන ගිවිසුම් රාශියක් මඟින් අපට අහිමි කර ඇත. 1915 සිට විවිධ වේශයෙන් පැමිණි යුග හතරක් විසින් අපව මේ තත්වයට ඇද දමා ඇත.

රට විනාශ කළ යුග හතර

01 බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයාගේ ඍජු පාලනය – 1915 මාර්තු 2 සිට 1948 පෙබරවාරී 4 දක්වා

02 ඩී. එස්. සේනානායක යුගය – 1947 සැප්තැම්බර් 24 සිට 1970 මැයි 29 දක්වා – නාමික නිදහසක් පෙන්වමින් බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයාගේ සුරතලුන්ට පාලන බලය ලබාදි මේ රට පාලනය කරවීය.

03 සිරිමාවො බණ්ඩාරනායක යුගය – 1970 මැයි 29  සිට 1977 ජුලි 23 දක්වා

සිරිමාවෝ බණ්ඩාරනායක යුගය 1815 න් පසු මෙරට බිහිවූ යම් සාධනීය ලක්ෂණ සහිත එකම යුගයයි. සැබෑ නිදහස දිනා ගැනීම සඳහා කළ ව්‍යවස්ථා විප්ලවය සාර්ථක වූ නමුත් ඉන් එහාට ඊනියා විදේශ ආක්‍රමණයට මුහුණ දෙන්නට එයට හැකි නොවීය. ඒ නිසාම ඉතිහාසයේ අඳුරුතම සහ ඇස්බැන්ඳුම් යුගයට ඉන් පසුව පාර කැපිණ.

04 ජේ. ආර්. ජයවර්ධන යුගය – 1977 ජුලි 23  සිට 2024 දක්වා

1972 ව්‍යවස්ථාමය විප්ලවයකින් ඇති කරගත් නිදහස ආපසු හැරවීමත් අප මාතෘ භූමිය දියුණුව කරා යන ගමන අඩාල කරවීමත්, දූෂිත දේශපාලන පැලැන්තියක් නිර්මාණය කරවීමත්, රට ණය උගුලක සිර කරවීමත්, රාජ්‍ය සම්පත් විකුණන සහ ජාතියක් සතු වටිනාකම් විනාශ කරන මජර දේශපාලන යුගය ජේ.ආර්. ජයවර්ධනගෙන් ඇරඹිණ.

මේ යුග හතරෙන් දරුණුතම ඇස් බැන්ඳුම් යුගය අප පසුකරමින් සිටින්නෙමු. 1915න් පසු හතුරා මිතුරා බොහෝ විට වෙන්කර හදුනා ගත හැකි විය. නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ රටේ මිනිසුන්ගෙන් කොටසක් හතුරන් අතරට යාමෙන් සහ 1948 ව්‍යාජ නිදහසත් සමඟ හතුරා අපේම මිනිසුන් ලෙසින් පැමිණීමත් සමඟ මේ විනාශයේ සැබෑව තේරුම් ගැනීම සංකීර්ණ විය. මෙම යුගය නියත වශයෙන්ම 2024 වසර දක්වා දිවෙනු ඇත.

පරපුරක බලය බිහිවීම සහ දේශප්‍රේමී කඳවුරේ ආරම්භය.

2015 මැද භාගය පමණ වනවිට දේශප්‍රේමී කඳවුරක අවශ්‍යතාවය පිළිබඳවත් එයට නායකත්වය දිය හැකි දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳවත් අප සාකච්ඡා කරමින් සිටියෙමු. 2015 නොවැම්බර් 01 වන දින පරපුරක බලය බිහි කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

න්‍යායාත්මකව අදහස් සහ මත ඉදිරිපත් කරමින්ද ජනතා අයිතිය උදෙසා මැදිහත් වෙමින් සහ මැතිවරණ සඳහා දායක වෙමින්ද පුරවැසියන් දැනුවත් කරමින් සහ ඒකරාශී කරමින්ද අප ගමන් කළෙමු. පරපුරක බලය මේ ගත කරනේ අපගේ සැළසුමේ හතරවන අවධියයි. ආණ්ඩු බලය අත්පත් කර ගැනීම උදෙසා ඍජු ලෙස පිවිසීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේදි ස්වාධින කණ්ඩායම්වලට සහය දක්වමින්ද 2019 ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයට සහය දක්වමින්ද අප මැතිවරණ සටන් සඳහා එක් වී ඇත. 2020 මහ මැතිවරණයේදි අපගේ දේශපාලනය සමඟ ගැළපෙන දේශපාලන පක්ෂයක් දක්නට නොලැබීම හේතුවෙන් එම මැතිවරණයට අප සහභාගී වූයේ ඡන්දය දැමීම සඳහා පුරවැසියන් උනන්දු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමිනි.

අප 2015 ආරම්භ කිරීමේ සිට ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස මැතිවරණවලට තරඟ කිරීම ඉලක්ක කර අපගේ යාන්ත්‍රණය, දේශපාලනය හසුරුවමින්  සිටින්නෙමු.

විකල්ප අවකාශය

මෙම කාලය තුළ පරපුරක බලය මතු කරන ලද විකල්ප අවකාශය පිළිබඳ මතය බහුතර සමාජය කරා නොගොස් යම් පිරිස් අතට පත්විය. මේ අවකාශයෙන් ප්‍රයෝජනය ගැනීමට සූදානම් වූ යම් පිරිස් විකල්ප අවකාශයට පැමිණ එය අවභාවිතා කරනු පැහැදිලිවිම දක්නට ලැබුණ. ඔවුන්ගෙන් පිරිසක් 2019 ජනාධිපතිවරණයෙදිත් අනෙක් පිරිස 2020 මහ මැතිවරණයේදීත් තම කූට අපේක්ෂා ඉටුකර ගැනීමට නොහැකිව මග නතරවනු දක්නට ලැබිණ.

මජර කඳවුරේ සන්නම් නාම වෙනස (Re Brand )

2019 වනවිට මේ මජර ක්‍රමය පිළිබඳව ජනතාවට සංකේතාත්මකව වටහා දීමට ක්‍රියාත්මක කළ යම් උපාය මාර්ග සාර්ථක වෙමින් තිබුණ. ඒවාට අමතරව ජනතාවද ස්භාවිකවම යම් යම් කරුණු අවබෝධ කරගනිමින් සිටියහ. මේ නිසා 1948 මජර දේශපාලන කඳවුරේ ප්‍රධාන පක්ෂ තුනම තමන්ගේ නම් සහ ලකුණු මාරුකර ගනිමින් වෙස් මාරුකරමින් තමන්ගෙන් ගිලිහීමට නියමිත ජන බලය රැක ගැනීමට කටයුතු කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිල් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසටත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොල පෙරමුණ ජාතික සමගි බලවේගය ලෙසටත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රතු පෙරමුණ ජාතික ජන බලවේගය ලෙසටත් නාම වෙනසක් ලබා ගන්නේ ඔවුන්ගේ මජර දේශපාලන කඳවුර රැක ගැනීම උදෙසාය.

අප නොනැවති සෙමින් ඉදිරියටම

2015 නොවැම්බර් 01 දින සිට අප සෙමින් ස්ථාවරව ඉදිරියට ගමන් කරමින් සිටින්නෙමු. මේ වනවිට දිවයින පුරා දිස්ත්‍රික් සහ ආසන නායකයන් පත්කරගෙන යමින් සිටින්නෙමු. තරුණ සහ කාන්තා පෙරමුණු ගොඩනැගෙමින් තිබේ. ජාතික ප්‍රතිපත්ති සැදීමේ වැඩපිළිවෙලත් ආරම්භ වී ඇත. විදෙස් රටවල්හී සිටින ශ්‍රී ලාංකිකයන් හරහා ඒ ඒ රටවල ශාඛා ගොඩනැගීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

අප ඔබට ආරාධනා කරන්නේ අප මාතෘ භූමියට යළි නිදහස අත්පත් කර දෙමින් රට ගොඩනගන වැඩපිළිවෙලට එක්වන ලෙසයි. ඒ ඓතිහාසික සටනේ කොටස්කරුවෙකු වන ලෙසයි. නියතවම අපි ඉතිහාසය වෙනස් කරන්නෙමු.