ඔබේ ප්‍රස්න මේවාද ?

01 නව දේශපාලන ව්‍යාපාරයක් ( පරපුරක බලය ) මේ රටට අවශ්‍ය ඇයි ?

ඔබත් අපිත් දන්නවා මේ රට විනාශයට යමින් තිබෙනවා කියලා. 225ම එකයි. මුන් ඔක්කොම එකයි වගේ සටන්පාඨ සමාජගත වුනේ අහම්බයකින් නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ වසර 72ක් මේ රට පාලනය කරපු පාලකයන් අසාර්ථක බවයි. අපගේ දැක්මත් එයමයි. ඒ වගේම අපි ස්ථීරව දැන් දන්නවා මෙතෙක් රට පාලනය කරපු දේශපාලන පක්ෂවලට සහ නායකයන්ට මේ රට ගොඩනැගීමට හැකියාවක් නැති බව. ඔවුන් මේ රට සූරාකන පරපෝෂිතයන් පිරිසක් බව. දැන් හේතුව ඉතාම පැහැදිලියි. සරලයි. අලුත් දේශපාලන ව්‍යාපාරයක් අලුත් පිරිසකගෙන් ගොඩනැගිය යුතුයි. එම අවශ්‍යතාවයයි අප ඉටු කරන්නේ.

02 පරපුරක බලය කුමන දේශපාලන ක්‍රමයක කුලකයකට අයිතිද ? ( සමාජවාදි, කොමිනිස්ට්වාදී, ලිබරල්, නව ලිබරල්, ජාතිවාදී, පැසිස්ට්වාදී )

අපි යතාර්ථවාදි දේශපාලන ව්‍යාපාරයක්. ඔය කිසිම රාමුවකට අපි කොටුවන්නේ නැහැ. මේ රටට ජනතාවට ගහ කොළට සතා සිපාවුන්ට හිතකර ඕනෑම ප්‍රතිකර්මයක් පිළිගන්න අප සූදානම්. අප එය හදුන්වන්නේ භූමියේ යතාර්ථය පිළිගත් දේශපාලන ක්‍රමයක් ලෙස.

මූලික වශයෙන් අප එය බෙදා වෙන්කර ගන්නේ ශිෂ්ඨ සහ අශිෂ්ඨ ලෙස. පොදු සංවේදීතාවය තිබෙන සහ සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුට ඕනෑම ක්‍රියාවක් මේ දෙකට වෙන්කර ගන්න පුලුවන්. ශිෂ්ඨ ඕනෑම දෙයක් අපට කැපයි.ඒ වගේම අශිෂ්ඨ ඕනෑම දෙයක් අපට අකපැයි. නමුත් රටට, පරිසරයට, මිනිසුන්ට ඒ මොහොතේ මුහුණ දෙන තත්වය මත සමහර උපක්‍රම සහ වැඩපිළිවෙල අපට තෝරා ගන්නත් අතහරින්නත් සිදුවෙනවා. ප්‍රායෝගික තත්වයන් මත.

03 නව දේශපාලන ව්‍යාපාරයකට මේ රටේ බලය අත්පත් කරගන්න පුලුවන්ද ?

පුලුවන්. මේ 1948 දේශපාලන කඳවුර ජනතාව තුළ ඇති කළ මතයක් මේක. නමුත් දැනටමත් ඔවුන් පරාජය වෙමින් තියෙන්නේ. ඒ නිසා තමයි..,

01 එක්සත් ජාතික පක්ෂය නැවත ජාතික සමගි බලවේගය ලෙස සැකසෙන්නේ. ( Rebrand )

02 ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සැකසෙන්නේ. ( Rebrand )

03 ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නැවත ජාතික ජන බලවේගය ලෙස සැකසෙන්නේ. ( Rebrand )

225ම එකයි. ඔක්කොම එකයි. කියන එක සමාජගත වෙනකොට, ශ්‍රී ලංකා යූ එන් පී තට්ටු මාරු දේශපාලනය කියා සමාජගත වෙනකොට ඔවුන්ට තමන්ගේ අපිරිසිදු නම් එක්ක ආපහු යන්න බැරි වෙනවා. අභ්‍යන්තර නායකත්ව අර්බුධ පෙරමුණු ලෙස නැවත ප්‍රතිසංවිධාන කටයුතු ලෙස මෙසේ වෙනස්වීමට හේතු බව මතුපිටින් පෙනෙන්නට තිබුනත් ජාත්‍යන්තර ඔත්තු සේවා සහ සමීක්ෂණ විසින් ජනතාවගේ කළකිරීම අදුරාගන්නවා. මේ 1948 දේශපාලන කඳවුරේ පැවැත්ම ලෝක බලවතුන්ට අවශ්‍යයි මේ රට සූරා කෑමට. ඒ නිසා මේ ප්‍රධාන කණ්ඩායම්වලට අලුත් මුහුණුවරක් පෙනුමක් ( Rebrand ) ලබා දෙනවා ජනතාවගේ අප්‍රසාදය යම්තාක් දුරට සමනය කර ගැනීමට.එත් එයත් පවත්වාගෙන යාමට හැකි වන්නේ නැහැ.

පැහැදිලි වැඩපිළිවෙලක් සහිතව නව දර්ශනයක් සහිතව ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලන ව්‍යාපාරයකට ඉඩකඩක් තියෙනවා. නමුත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. සප්ත දූෂිත වළල්ලක් මොවුන් ආරක්ෂා කරනවා.

04 පරපුරක බලය ආණ්ඩුවක් ගත්තොත් රට ගෙනියන්න පුලුවන්ද ?

පුලුවන්. දැනටමත් ආචාර්ය පියවි විජේවර්ධනගේ මූලිකත්වයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩකටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. ආචාර්ය පියවි විජේවර්ධන කියන්නේ පරපුරක බලය මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති සම්පාදන ලේකම්. ඉදිරි වසර 3ක කාලය තුළ ජනතාවගේ අදහස් සහ ප්‍රවීනයන්ගේ දැණුම අරගෙන ඔහු මේ කටයුත්ත කරනවා. බලය අත්පත් කර ගැනීමෙන් පසු අප කරන්නේ කුමද්ද යන්න ජනතාව අතරින්ම ගත් යෝජනා හරහා අප ගොඩනගනවා.

එය ඉටුකරන්නේ ජනතාව අතරින්ම ඉදිරිපත් වුන නව තරුණ නායකයන්ගෙන්. දැනටමත් පරපුරක බලය සමඟ එකතුවුන එකතු වෙමින් සිටින දක්ෂ තරුණ නායකයන් එය ඉටු කරයි. සමහර විට ඒ අය අතර ඔබද විය හැකියි. ඔබට ඔබ පිළිබඳව විශ්වාස නම් අපගේ අරමුණු ස්ථාවරයන් දැක්ම සමඟ ඔබ එකඟ නම් ඔබටත් ඉඩක් තියෙනවා.

05 පරපුරක බලයත් මේ පවතින දේශපාලන පක්ෂවලට එකතු වෙයිද ?

නැහැ. එය කවදාවත් සිදුවන්නේ නැහැ. අප කවදාවත් මැති ඇමතිකම් අරගෙන මේ පවතින පක්ෂ ගොඩනගන ආණ්ඩුවකට එකතු වෙන්නේ නැහැ. අපේ උත්සහය අපේම ආණ්ඩුවක් හදන එක. එතෙක් විපක්ෂයේ සිටිනවා.