අරමුණු

01) පුරවැසියන් දේශපාලනයට කැඳවීම.
දේශපාලනික නොවූ මිනිසුන්, සැබෑ පුරවැසියන් බවට පත් කිරීම උදෙසා මූලිකවම ඔවුන් දේශපාලනය තුළට කැඳවීමට අප කටයුතු කරන්නෙමු. දේශපාලනයෙන් විතැන් වූ බහුතර ජනතාවක් සමඟ 1948 දේශපාලන කඳවුර පරදා රට වෙනස් කළ නොහැකි බවත් හුදු මිනිසා සැබෑ දේශපාලනික සත්වයෙක් බවට පත් කිරීමෙන් අප මාතෘ භූමිය වෙනස් කරන ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවත් වූ පිළිගැනීම මත පුරවැසියන් දේශපාලනයට කැඳවීමට අප ක්‍රියා කරන්නෙමු.

02) පුරවැසියන්ට දේශපාලන දැනුම, අවබෝධය සහ පුහුණුව ලබාදීම.
දේශපාලනික නොවූ ජනතාව සැබෑ පුරවැසියන් බවට පත් කිරීම සඳහා දැනුම, අවබෝධය, පුහුණුව සහ අත්දැකීම ලබා දිය යුතු බවත් ඔවුන් තුළ තිබෙන බාධක බිද දැමිය යුතුය. ඒ නිසා දේශපාලනයට පිවිසෙන ජනතාව සැබෑ පුරවැසියන් බවට වෙනස් වීම සඳහා දේශපාලන දැනුම, අවබෝධය පුහුණුව සහ අත්දැකීම ලබා දීමට කටයුතු කරන්නෙමු.

03) විකල්ප දේශපාලන කණ්ඩායම් ශක්තිමත් කිරීම සහ ජාලගත කිරීම.
විවිධ ක්ෂේත්‍ර, විවිධ කුලක සම්බන්ධයෙන් සහ ජාතික දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආරම්භ කරන සහ කළ විකල්ප දේශපාලන කණ්ඩායම් ඒ ඒ අනන්‍යතා ආරක්ෂා කරගනිමින් ගොඩනැගීම පවත්වාගෙන යාම ආරක්ෂා කිරීම සහ ජාලගත කිරීමට මැදිහත් වෙන්නෙමු.

04) අවම සාධාරණත්වයක් රට තුළ පවත්වා ගැනීමට මැදිහත්ව වීම.
1948 දේශපාලන කඳවුර පවත්වාගෙන යන ආණ්ඩු විසින් සිදු කරන දේශද්‍රෝහි, ජනතා ද්‍රෝහී තීරණ, ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග ආපසු හරවා දේශයත් ජනතාවත් අරක්ෂා කිරීම සඳහා එම මොහොතට අදාලව කටයුතු කරන්නෙමු. පුරවැසියාගේ ආණ්ඩුවක් බිහි කරන තුරු එම මැදිහත්වීම අඛණ්ඩව පවත්වාගෙන යන්නෙමු.

05) විකල්ප දේශපාලන කතිකාවතක් ගොඩනැගීම.
1948 දේශපාලන කඳවුර සහ එම කඳවුර විසින් ඇති කළ සියලු අර්බුධවලට විසඳුම් සෙවීම සඳහා එකම විසඳුම වන දේශප්‍රේමී විකල්ප කඳවුර ගොඩනැගීම පිළිබඳව, බලය ලබාගැනීම පිළිබඳව සහ සැබෑ පුරවැසියන් එකතුව ගොඩනගන ආණ්ඩුව පිළිබඳව කතිකාවතක් ඇති කර පවත්වාගෙන යන්නෙමු.

06) විකල්ප ජාතික දේශපාලන බලවේගයක් ගොඩනැගීම.
පක්ෂය, අනුබද්ධ සංවිධාන, බාහිර විකල්ප සංවිධාන, 1948 දේශපාලන කඳවුරෙන් බාහිරව ගොඩනැගෙන පක්ෂ සහ ස්වාධින දේශප්‍රේමී පුරවැසියන් ඒකරාශී කර ගනිමින් විකල්ප දේශප්‍රේමී කඳවුර ගොඩනගන්නෙමු.

07) පුරවැසියන්ගේ ආණ්ඩුවක් බිහි කිරීම.
අප මාතෘභූමිය විනාශ කළ 1948 දේශපාලන කඳවුර පරදවා සැබෑ පුරවැසියන්ගේ දේශප්‍රේමී ආණ්ඩුවක් අප බිහි කරන්නෙමු. අපගේ අරමුණුම, ස්ථාවරයන් සහ දැක්ම මත පදනම්ව සහ පුරවැසියන් සමඟ එක්ව ගොඩනැගූ ජාතික ප්‍රතිපත්ති මත එම ආණ්ඩුව පවත්වාගෙන යන්නෙමු. ලැබෙන පළමු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රටට නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙමින්, නූතනත්වයට ගැළපෙන ක්‍රම විදි එක් කරමින් අප මාතෘභූමියට ස්ථාවර ගමන් මාර්ගයක් ගොඩනගා ජයග්‍රහණය සඳහා ගෙනයන්නෙමු.